Wednesday 11th of February 2026

English Tamil
Advertiesment


එකම වරදක් - එකම දඬුවමක්


2026-02-09 1226

 

(රජිත් කීර්ති තෙන්නකෝන්)

 

රනිල් වික්‍රමසිංහත් ඔහුගේ ජනාධිපති ලේකම් සමන් ඒකනායකත් දැන් එකම නඩුවක චූදිතයින් ය. 2020 දී ද රනිල් - සමන් දෙදෙනා එකම නඩුවට කොටුවි ය. ඒ නඩුවේ දී ජනපති අනුර කුමාර දිසානායක, ඇමති ආනන්ද විජේපාල ද, දැන් රනිල් - සමන් රිමාන්ඩ් කරන්නට මුලික වූ විමර්ශකයා වන ශාන් අබේසේකර ද වැරදිකරුවන් වූ නිසාය.

දේශපාලන පළිගැනීම් නිසා වංචා විමර්ශන නැතිනම් ‘දුෂණ චෝදනා ගොනු කිරීම’ විටෙක මොළය කොලොප්පන් වන වැඩකි. එදා රනිල්-අනුර- ආනන්ද විජේපාල- සමන් ඒකනායක - සරත් ෆොන්සේකා, රවුෆ් හකීම්, ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න එකම නඩුවකය. අද, රනිල් - සමන් හිරේ දාන්නට අවශ්‍යව ඇත්තේ අනුර-විජේපාල-ශානි තුන්කට්ටුවටය. ඉතිහාසය විටෙක රෝදයක් ලෙස ද, විටෙක අටපට්මක් ලෙස ද කැරකෙන්නේය.

මේ යුගය රාජ්‍ය නිලධාරීන්ට හොඳටම අපල කාලයකි. පොදු සමාවට රස්සා නැතිවුනේ, හිරේ වැටුණේ බන්ධනාගාර නිලධාරීන් ය. පෙළ පොල අවුලට නාලක කළුවැව සැකකරුවෙකු වන්නේය. කන්ටේනර් අවුල නවතින්නේ කවදා හෝ අරුක්ගොඩ ගේ හිස මතය. පාස්පෝට් අවුලට අති දක්ෂ පරිපාලන සේවයේ නිලධාරියෙකු වූ හර්ෂ හිරේ ය. වෙන එකක් තබා අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සේපාලිකා රිමාන්ඩ් නොවුනේ පුදුම සහගත ලෙසය. ලංකා ඉතිහාසයේ සුවිශේෂ ලේකම්වරයෙකු වූ චරිත රත්වත්තේ ද චූදිතයෙකි. ඌව ප්‍රධාන ලේකම් ගම්මන්පිල ද, ගණකාධිකාරීවරියක් ද රිමාන්ඩ් විය. වෙනඑකක් තබා රාජ්‍ය පරිපාලනයේ හිටපු ලේකම් වජිරාරාම දහම් පාසල් ප්‍රධානාචාර්ය මයාදුන්න මහතා අත්අඩංගුවට පත් වූයේ රු. 50,000 ක චෝදනාවකට ය. දිත්වා නිවාස වන්දි පිළිබඳ අනුරාධපුර දිසාපතිවරයා හා රාජාංගනය ප්‍රා.ලේ. අමාරුවේ නොවැටුනොත් පුදුමයකි. ස්නායු ශල්‍ය වෛද්‍ය ගේ නඩුව රටට දක්ෂතම ස්නායු ශල්‍ය වෛද්‍යවරියකට අහිමි කළේය. දැන් ජයවර්ධනපුරට වැඩිම ආදායම් ගෙනා වාට්ටුව වසා දමා ඇත. රාජ්‍ය නිලධාරීන්ට අපල බොහෝය. අනුෂ පැල්පිට ද රිමාන්ඩ් ය. සෞඛ්‍ය ලේකම් අනිල් ජාසිංහ පමණක් නොව තවත් බොහෝ දෙනෙකුට ඇත්තේ අපල කාලයකි. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නගේ සිදුවීම වික්ටෝරියානු යුගයේ දී වත් ලංකාවේ සිදු නොවූ කුණුහරුපයකි. මල්පැල පාර්ලිමේන්තුව ‘මල්ගහන පාර්ලිමේන්තුවක්’ වෙමින් ඇත.

සමන්ගේ කතාව

සමන් ඒකනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපති ලේකම් ලෙස සහ එයට පෙර අගමැති ලේකම් ලෙස සේවය කළේය. 2020 ජනවාරි මාසයේදී එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දේශපාලනික පළිගැනීම් පිළිබඳ පැමිණිලි සම්බන්ධයෙන් සොයාබැලීම පිළිබඳ විමර්ශන කොමිෂන් සභාව (Presidential Commission of Inquiry - PCoI on Political Victimisation) පත් කළ අතර මෙහි සභාපතිත්වය දරන ලද්දේ විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නය.

2015 ජනවාරි සිට 2019 දෙසැම්බර් දක්වා කාලය තුළ (සිරිසේන-වික්‍රමසිංහ පාලන සමයේ) සිදු වූ බව කියන දේශපාලනික පළිගැනීම් සම්බන්ධ සිදුවීම් පිළිබඳ විමර්ශනය කිරීම මෙම කොමිෂන් සභාවේ කාර්යභාරය විය. චෝදනා වලට රාජ්‍ය සම්පත් අයුතු ලෙස භාවිතය, අයුතු අත්අඩංගුවට ගැනීම්, මාරු කිරීම් ආදිය ඇතුළත් විය.

කොමිෂන් සභාවේ වාර්තාවේ සමන් ඒකනායක මහතා ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකුට චෝදනා එල්ල විය. විශේෂයෙන් ඔහුට චෝදනා වූයේ පෙර පාලන සමයේ කැබිනට් තීරණයකින් පිහිටුවන ලද දූෂණ විරෝධී කමිටුව සහ දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය (Anti-Corruption Committee/Unit - ACC/ACCS) පිහිටුවීම හෝ ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය දේපළ අයුතු ලෙස භාවිත කිරීම සහ එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම යන චෝදනායි. කොමිසම විසින් මෙම චෝදනා වලට අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා වරදකරුවෙකු ලෙස තීරණය කරන ලද අතර ඔහුට විරුද්ධව අපරාධ නඩු පවරන ලෙස පොලිස්පතිට, නීතිපතිට සහ අල්ලස් හෝ දූෂණ කොමිසමට නිර්දේශ කරන ලද අතර ඔහුගේ ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කරන ලෙස ද නිර්දේශ කළේය. මේ අයුරින්ම එමගින් යහපාලන ආණ්ඩුවේ සීඅයිඩී බාර නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න, එකල සීඅයිඩී අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, එවකට දූෂණ මර්දන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ආනන්ද විජේපාල, එවකට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සහ පසුව සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ, ජනාධිපති නීතිඥ ජේ.සී. වැලිඅමුණ ඇතුළු ව යහපාලන ආණ්ඩුවේ හොරු ඇල්ලීමේ වැඩසටහනට නොයෙක් අයුරින් සම්බන්ධව සිටියේය කියන විශාල පිරිසකට එරෙහිව ද කොමිසම විසින් චෝදනා නඟා වරදකරුවන් කර තිබිණි.

යහපාලන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ලේකම් ලෙස සිටි සමන් ඒකනායක විසින් උපාලි අබේරත්න කොමිෂමේ තීරණ වලට එරෙහිව ඒවා අවලංගු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් (SC/FR/27/2021) පැවරුවේය. එම නඩුවට යහපාලන ආණ්ඩුවේ සී අයි ඩී බාර නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න, එකල සී අයි ඩී යේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, එවකට දූෂණ මර්දන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ආනන්ද විජේපාල, එවකට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සහ පසුව සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ, ජනාධිපති නීතිඥ ජේ සී වැලිඅමුණ ඇතුළු පිරිසක් ද එසේ නඩු පැවරූහ.

කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ගත් කැබිනට් තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවන බව නඩුවට ආණ්ඩුව නියෝජනය කරමින් ඉදිරිපත්වූ එවකට සොලිසිටර් ජනරාල් (නීතිපති දෙපාර්තමේන්තුවේ දෙවැනියා) සංජේ රාජරත්නම් අධිකරණයට පොරොන්දු විය.

එසේ වුවද, වරදකරුවන් ලෙස නම් කරන ලද පුද්ගලයන්ගේ ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කරන ලෙස වූ නිර්දේශය ක්‍රියාත්මක කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ සහ අභියාචනාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහගේ සහභාගිත්වයෙන් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ක්‍රියා කළේය. එම කොමිසම විසින් අදාල පුද්ගලයන්ගේ ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කිරීමට තීරණයක් ලබා දුන්නේ නම්, එම තීරණය පාර්ලිමේන්තුවේ 2/3 ක බලයෙන් සම්මත වූයේ නම් ඔවුන්ගේ ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කරනු ලැබීමට ඉඩ තිබිණි. ආර්ථික සහ දේශපාලන අර්බුදය මැද කොමිසමේ ධුර කාලය දීර්ඝ නොකිරීම නිසා එය ඉබේම අහෝසි ව ගියේය.

2021 මාර්තු මාසයේදී එකනායක මහතා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේය. ඔහු චෝදනා ප්‍රතික්ෂේප කරමින්, තමන්ට නිසි දැනුම්දීමක් හෝ ප්‍රතිචාර දැක්වීමේ අවස්ථාවක් නොලැබුණු බවත්, කාර්ය පටිපාටිමය අසාධාරණයක් තිබූ බවත් ප්‍රකාශ කළේය. මෙම පෙත්සම 2024 වන තෙක් සලකා බැලිණි. 2024 අගෝස්තු මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක තීන්දුවක් මගින් කොමිෂන් සභාවේ නිර්දේශ හා තීරණ අවලංගු/ශූන්‍ය කරන ලදී. මෙයින් සමන් ඒකනායක මහතා ඇතුළු චෝදනා ලැබූ අයට එරෙහි නිර්දේශවල බලපෑම අහෝසි විය. අධිකරණය මෙම කොමිෂන් සභාවේ ක්‍රියාවලියේදී සමන් ඒකනායක මහතා ඇතුළු චෝදනා ලැබූ අයගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව සැලකිල්ලට ගත්තේය. රජයට සමන් ඒකනායක මහතාට රුපියල් 150,000ක නඩු කාරක ගාස්තු ගෙවීමට ද නියෝග කෙරිණි.

දූෂණ විරෝධී කමිටුව සහ දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය (ACC/ACCS) හි සමන් ඒකනායක සමඟ ලගින්ම සේවය කළේ වත්මන් ඇමති ආනන්ද විජේපාලය. නීතියට පිටින් සමන් ගෙන් රාජ්‍ය සම්පත් ලබා ගැනීම සිදු කළ නොහැකි දුෂ්කර කාර්යයක් බව හොඳින්ම දන්නේ ද, ආනන්ද විජේපාලය. අසීමිතව සම්පත් ලබා නොදීම නිසාම සමන් හා දුෂණ විරෝධී කමිටුවේ ක්‍රියාකාරීන් අතර ගැටුම් ඇතිවිය. ඒ ගැටුම් දන්නා තවත් ප්‍රධානියෙකු වන්නේ ලොතරැයි මණ්ඩලයේ සභාපති ඇන්ටන් පෙරේරා ය. අද, ඇන්ටන්, සමන් ඒකනායකගේ ප්‍රධාන එදිරිවාදියෙකු වී ඇත.

දේශපාලන අවශ්‍යතා මත සිදුවන විමර්ශන බොහෝමයකට අවසානයේ පෙල්ල දෙන්නට වන්නේ රාජ්‍ය නිලධාරීන්ටය. වාසනාවකට රාජ්‍ය නිලධාරීන් දැන් දැන් ඒ බව හොඳින්ම අවබෝධ කර ගනිමින් ඇත. හරිගියොත් ගෞරවය දේශපාලනඥයින්ට ය. වැරදුණොත් අමාරුවේ වැටෙන්නේ රාජ්‍ය නිලධාරියාය. ඒ නිසාම අද රාජ්‍ය සේවයේ ටෙන්ඩර්, මිලදී ගැනීම්, සේවා ලබා ගැනීම් පමණක් නොව එදිනෙදා සේවා කටයුතු පවා සිදු නොවන තැනකට පත්ව ඇත.

රජය පරිපාලන ගැටළු විසදන්නට යන්නේ ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’, අල්ලස් කොමිසම හරහා ය. විගණන කොමිසමට සිදුව ඇත්තේ ඛෙදවාචකයකි. තොරතුරු කොමිසම මියැදෙන්නට අතහැර දමා ඇත. බස් කොන්දොස්තරවරියන් බඳවා ගැනීම ගැන අතිශෝක්ති කතා මැද, ජාතික කාන්තා කොමිසම මරා දමා ඇත.

රාජ්‍ය සේවයේ සෑම වැදගත් අංගයක්ම ක්‍රමිකව නමුත් ස්ථිර ලෙසම නිශ්ක්‍රීය කරමින් ඇත. ඒ සඳහා අවශ්‍ය දිනෙන් දින, රාජ්‍ය නිලධාරීන් දං ගෙඩියට බෙල්ල දෙමින් ඇත. වැඩ කිරීම වෙනුවට වැඩ නොකිරීම බෙල්ල බේරා ගැනීමේ මාවත බවට පත් වෙමින් ඇත. අවසනාවකට ඉතා සීමිත රාජ්‍ය නිලධාරීන් පිරිසක් කැමැත්තෙන්ම අමාරුවේ වැටෙමින් ඇත.

ආණ්ඩුකරණය පොලීසිය, අපරාධ විමර්ශකයින් හා අල්ලස් කොමිසම හරහා කළ හැකි දෙයක් නොවේ. එය මෙරට රාජ්‍ය යාන්ත්‍රණයම බිඳ දමමින් ඇත. සමන් ඒකනායක වැනි රාජ්‍ය පරිපාලනයේ පුරාවෟර්ත බදු වු ඉහළම නිලධාරීන් දැන් නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ් බන්ධනාගාරයේය.

2020 ආණ්ඩු මාරුව රනිල් සමන් ඒකනායක අනුර කුමාර ආනන්ද විජේපාල ශානි රවී හකීම් සරත් ෆොන්සේකා වරදකරුවන් කළේය. 2025 රනිල් සමන් ඇතුළු පිරිසක් හිරේ දමා ඇත.

මේ ආණ්ඩුවේ බලවතුන් හා රාජ්‍ය නිලධාරීන් 60 කට දැනටමත් චෝදනා එල්ල වී ඇත. බහුතරයකට විමර්ශන නැති නමුත් ලිපි ගොණු ඇත.

රාජ්‍ය නිලධාරීන්ට ඇති ලොකුම අභියෝගය මේ දුෂ්කර කාලයේ ෆයිල් එකක් හදා නොගෙන රස්සාව කීරීම පමණී.

 

 

Advertiesment